
ද්විතීය ධ්‍යාන අවස්ථාවෙන් පසුව ඉතා හොඳින්ම දැනෙන තනිකර ආලෝකයෙන් දිස්වෙන කයක් බවට පත්වී ඇත. මෙම අවස්ථාව තෘතීය ධ්‍යාන අවස්ථාවයි. ඉන් අනතුරුව අඟපසඟ නැති තනිකර ආලෝකයක් බවට පත්වී තිබෙන තැනක් කීමට නොහැකි චලන රේඛා ද්‍රව්‍ය වස්තු නැති සුවිසල් ධ්‍යාන ආකාශයක් අත්දැක ඇත. මෙය අපේ මසැසින් දකින ආකාශයක් නොව මනසට විෂය වන නිෂ්චල ආකාශයක්. මෙමෙ අවස්ථා පසුකර නේවසඥානාසඥා දක්වා හුස්මක් රැගෙන පිට කරන මොහොතක් තරම් කාලයකදී ඇත්දැකීම් ලබා ඇත. මෙහි භාවනා අත්දැකීම සියල්ල පියවරින් පියරව අවසානය දක්වා විස්තර කර නොමැති බවත දැනගත යුතු වෙයි. එසේ කළ විට එසේ අත්දැකීම් නැත්තෝද තමන්ද මේ මේ ලක්ෂන ලබා ඇතැයි අනුන් මුලාවට පත් කරමින් තමන්ද මුලාවට පත්වී අවසානයේ ධර්මය අධර්මය කරමින් තමනට අයහපත් ප්‍රතිඵල ලැබීමයි සිදුවන්නේ. අන් අයගෙන් කීර්ති ප්‍රශංසා බලාපොරොත්තුවෙන් තමනට නැති බොරු උතුරු මිනිස්දම් ඇතැයි පවසන්නාට දරුණු විපාක වලට මුහුණ දීමට සිදුවන බව මනාව පසක් කරගත යුතුවෙයි. ඒ මොහොතේ කැපී පෙනෙන්නට කීර්ති ප්‍රශංසා ලබන්නට පසුව ලැබෙන සත්‍යාවබෝධයේ හිමිකම වළක්වා ගන්නේ කුමන මෝඩකමකටද? තමනට නැති දෙයක් අනුනට කියමින් ගෞරව සත්කාර, පුදසැලකිලි, ලැබීම පා දූවිල්ලක් තරම් වටිනවාද? අප ඇසුරු කරන සමාජය තුළ මෙවැන්නෝ නිතර හමුවන නිසයි මෙවැන්නක් සටහන් කළේ. භාවනාමය අත්දැකීම් පදම් වන විට කාව්‍යමය ප්‍රාතිහාර්ය දේශනා ප්‍රාතිහාර්ය ඒවාට අදහස් ගලාගෙන ඒම ආදිය නිරන්තරයෙන් සිදුවන උස්ස සමාධියේ ප්‍රතිඵලවෙයි. මේවා ලැබුණු ආකරය විස්තර කිරීමට වැඩි වේලාවක් ගත වන බැවින් මෙසේ කෙටියෙන් විස්තර කළෙමි. බුද්ධාන්තර දහයකට ඔබ්බෙන් එනම් තිස්ස බුදු රජාණන්වහන්සේට පෙර ලෝකයේ පහල වී සිටි සිද්ධාර්ථ නම් බුදුරජාණන්වහන්සේගෙන්, බුද දහම පිරිහී යන කාලයක නැවත නිර්මල බුදු දහම නගා සිටුවීම හා ලෝකයාට ශාන්තියක් උදාකිරීම පිණිස ශ්‍රාවක විවරණක් ලැබූ අබේරත්න නම් වූ පුණ්‍යවන්තයා එය මල්ඵල ගැන්වීමේ විශ්ව අවශ්‍යතාවක් මත මෙම අත්භවය ලබා ඇත. දැනට අත්බැව් 4කට ඔබ්බෙහිදී නැවත මිනිස් අත් බවක් ලබා පැවිදී වී ධර්මාවබෝධය ලබා ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙමෙ අත්භවයෙහි මූල සාධක ගොඩනැගී ජාතසෝතාපන්නයෙකු වශයෙන් ඉපදී ඇත. අධ්‍යාත්මික ශක්තීන් හි අක්මුල් සොයමින් ගවේෂණය කරන ඒක අවස්ථාවකදී පොත්ගුල් 4ක් නියෝජනය කරමින් යතුරු 4ක් සිය හස්තය මත පහලවී ඇත. මෙය මිත්‍යාවක් හෝ මනෝමය බ්‍රාන්තියක්ද නොවේ. අත්දැකීම් සහිත ප්‍රායෝගික අවස්ථාවකි. මෙම යතුරු 4 සම්බන්ධ ඈඳුණු අවශේෂ විස්තරය ඉතා දිගු එකක් බැවින් මෙහි විස්තර කරනු නොලැබේ.
මෙම යතුරු 4න් පෙන්නුම් කරන්නේ
1. ලෝකයේ පරිණාමය
2. සත්වයාගේ පරිණාමය
3. සත්වයාගේ ලෙඩ රෝග
4. සත්වයාගේ කර්ම ශක්තිය වෙයි
මෙම කරුණු 4න් සංඥා වශයෙන් දකින්නාවූ පොත්ගුල්, දර්ශන වශයෙන් ගන්නට අවශ්‍ය නම් එසේද ලබාගත හැකියි. සිතිවිලි වශයෙන් ගන්නට අවශ්‍ය නම් එසේද ලබා ගත හැකියි. සිතිවිලි වශයෙන් ගන්නට අවශ්‍ය නම් ඉහත කරුණු 4ට අදාල දත්ත සියල්ල මනසට ඉතා පැහැදිලිව ලබාගත හැකියි. මෙහිදී පොත්ගුල් 4ට අදාලව පහල වූ යතුරු 4න් පොත්ගුල් විවෘත වී සත්වයාගේ ලෙඩ රෝග හා ඒවාට අදාල බෙහෙත් ඖෂධ දක්වන ආයුර්වේද නිධාන දිනපොත (මෙය රන්වන් අකුරින් අඩ රවුමට සටහන්ව තිබූ දින පොතක ප්‍රමාණයේ පොතකි) පමණක් අන්තර්ධාන නොවී එය ශරීරය තුළට අවශෝෂණය වී ඇත. ඒ හේතුව මත ගිහි කල දී ප්‍රත්‍යක්ෂ ඖෂධ වට්ටෝරු තුළින් බොහෝ රෝගීන් ප්‍රමාණයක් සුවපත් කර ඇත. ඉතිරි පොත්ගුල් 3ට අදලා යතුරු ත්‍රිත්වය අවසන් ඵලය වූ අරිහත් ඵලයේදී අභිඥා බල සහිතව පහලවීමට නියමිතය. මෙම යතුරු සම්බන්ධව යම් යම් රහසිගත මන්ත්‍රයන්හි “පොත්ගුල් හතරේ නිධන් යතුරු හිල් උගුල්ලාගෙන වරෙන්“ යනුවෙන් සඳහන් වී ඇති මුත් බොහෝ දෙනෙකු එහි තේරුම නොදනිතත් ව්‍යාංගයෙන් පවසන්නේ ඉහත සඳහන් කළ යතුරු 4 ගැනයි. පරසිත් දැකීම, ද්‍රව්‍ය වස්තු මැවීම (මිදි ගෙඩි මවා පෙන්වීම) නොමේරූ කුරුම්බා ගෙඩියක කහ කඩ පැණි රස ලෙස දැනෙන්නට සැලැස්වීම, එක් තැනක ඇති දෙයක් අතුරුදහන් කර වෙනත් තැනකින් මතුකර දැක්වීම, බඩ වැලේ ඇති ගෙඩියක් වෙනත් අයෙකුට පෙනෙන්නට සලස්වා එය සෘධියෙන් පිටතට ගෙන ශල්‍ය කර්මයද සිදුකර නැවත යථා තත්වයට පත්කිරීම වැනි විශ්මිත දේ (ලෞකික මනසට පෙනෙන ආකාරයට) වසර 20කට පමණ පෙර ගිහි කල දී සිදු කළ අත්දැකීම් වෙයි. මෙවැනි බොහෝ අත්දැකීම් ලබා ඇති අතර ඒ සියල්ලක්ම ත්‍රිපිඨක සාහිත්‍ය තුළ තිබෙන දේ නොව අත්දැක ඇති හෙයනි ඒකාන්තයෙන්ම කළ හැකිදේ බව ඉඳුරාම පැවසිය හැකි වෙයි. පංචේන්ද්‍රීය මුල්කරගත් භෞතිකවාදී චින්තනයෙන් තර්කය තුළ සිරවී සිටින අයෙකු මෙවැනි අත්දැකීම් තුළින් කියන කතා ප්‍රලාඵ හෝ සුරංගනා කතා ලෙස ලිවීමට හෝ කතා කිරීමට ඔබ වෙත කඩා පනිනු ඇත. ඕනෑම අයෙකුට ලිවීමට හෝ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ඔබ උරණ නොවිය යුතුයි. සත්‍යය හා යථාර්ථය ඇත්තේ තර්කයෙන් ඔබ්බෙහි ඇති කාලයට හෝ මිම්කට හසු නොවන අතාර්තිකත්වය තුළයි. ඉහත සඳහන් අත්දැකීම් වලට අදාල වූ දේ මොහොතක වැනි අත්දැකීම් වන අතර එවැනි දේ නැවත නැවතත් කළ නොහැක්කේ නොබෝ කලකින් පූර්ණත්වයට පත්වූ විට පමණක් ස්ථිර වශයෙන්ම කළ හැකි පරිදි පෙර නිමිත් දැක්වීම් ලෙස මතු වූ නිසාවෙනි. අබේරත්න නම් වූ මෙම පුණ්‍යවන්ත මනුෂ්‍යයා එක් අවස්ථාවකදී කළගෙඩිහේන ප්‍රදේශයේදී “මිනිසුන් ඇතුළු සියලු සත්වයින්ට ඉන්ද්‍රීය 6ක් පමණක් පිහිටා එයිට වඩා එකක් හෝ නොපිහිටියේ ඇයි? යන්න ගැන එක්තරා පුද්ගලයෙකු සමඟ පැවැති ධර්ම සාකච්ඡාවක් පාන්දර 4 සිට පසුදින අළුයම 4ත් පසුකර ඊට පසු දින අළුයම 5.30 දක්වා එක දිගට දින 2ක් නොනවත්වා ධර්ම සාකච්ඡාවක් පවත්වා ඇත. ඉහත සඳහන් කල විස්තර ඒ සම්බන්ධයෙන් නොදත් අයෙකුට පොඩි ළමයින්ට කියාදෙන මනකල්පිත කථා ලෙස පෙනෙනු ඇත. මෙම දහම් තුළ සිටින පිරිසට ඉහත විස්තර නීරස වෙන්නට හෝ අනවශ්‍ය ලෙස සිතිය හැකිය. කෙසේ වෙතත් මෙම කරුණු ඇතුළත් කරන්නේ ආධුනික සාධු ජනයාගේ පහන් සිතිවිලි උදෙසා බව කරුණාවෙන් සලකන්න. මෙසේ ගිහි වතේ සිටියදීම මගඵල ලබා එසේ ගිහිවතේ සිටිය නොහැකි අධ්‍යාත්ම තලයකට පරිවර්ථනය වූ විට සිය ගුරුහිමියන් ලෙස දඹදෙණිය හත්පත්තුවේ ද්විතීය සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී රේවත පූජ්‍ය දියකෙළිනාවල මේධංකර නායක ස්වාමීන් වහන්සේ යටතේ වීරසිංහ ආර්ච්චිගේ අබේරත්න පූජ්‍ය වහරක අභයරතනාලංකාර හිමි ලෙස පැවදි දිවියට පා තබා නොබෝ දිනකින් වෙනත් ස්ථානයන්හිදී සිය ගිහි කල බිරිඳ වූ චන්ද්‍රලතා, චන්ද්‍රකාංචනා සිල්මාතාව ලෙසද මහාසාර කුල දියණිය වූ ලසන්ති ප්‍රියදර්ශනී වීරසිංහ සිය උසස් අධ්‍යාපනයද අතර මග නතර කොට සඳුනි කාංචනා සිල්මාතාව ලෙසද මහාසාර කුල පුත්‍ර කපිල වීරසිංහද උසස් අධ්‍යාපන කටයුතු වලට සමුදී කලණ රතනාලංකාර හිමි ලෙසද පැවදි දිවියට පත්වී සියල්ලෝම ගිහි බන්ධනයෙන් මිදී මේ භවය තුළදීම සසරින් මිදීමට අදිටන් කර සිටිති. ගිහි කල භාවිත කළ ඉඩම සහ දේපල සියල්ල සඟ සතු කොට ඇති අතර, වර්ථමානයේ එම පින් බිම අරියචින්ත බෞද්ධ විහාරස්ථානය නමින් හඳුන්වයි. මෙහි දෙමහල් ධර්මශාලා පරිශ්‍රයක් හා යාබද දාන ශාලාවකින්ද නේවාසික උපාසක උපාසිකා විවේකාගාර දෙකකින්ද සමන්විතය. එසේම භික්ෂූන් වහන්සේ සඳහා පරිහරණයට වෙන් වෙන්ව පිහිටියා වූ කුටි කීපයක් හා සිල්මාතාවන් සඳහා කුටි දෙකක්ද වෙන් ව ඉදිකර ඇත. ගෞතම බුදුන්ගේ දේශය වූ ද ගෞතම බුදුරජාණන්වහන්සේ බුද්ධත්වයට පත්වීමට පිටදුන්බෝධිය වූ ද ජයසිරි මහා බෝ සමිඳුන්ගේ බෝධි ශාඛාවක් රෝපණය කිරීමට හා බෝමලුවක් ඉදිකිරීමට අවශ්‍ය බිම් කඩද වෙන් කර ඇත. (මෙය මේ වන විට සිදුකොට අවසන් කටයුතු අතර වේ)
අරියචින්ත බෞද්ධ මධ්‍යස්ථානයේ මූලස්ථානය හැරුණු විට ගිජිදාගම, ආරගොඩ හා උඩපොලද අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් විවේක සෙනසුන් 3ක්ද ඉදි කර ඇත. එම ස්ථාන තුළින්ද ඉදිරියේදී බුද්ධ ශාසනයේ මෙතෙක් ආවරණය වී තිබූ කරුණු නිරාවරණය වනු ඇත.
(මෙම කොටසට අදාලව තිබූ පරිච්ඡේද 2ක් ඉවත් කලෙමි. එයට හේතුව එම කොටස් මෙම ග්‍රන්ථය මුල් වරට ප්‍රකාශනයට පත් කරන අවස්ථානුකූලව සටහන් තබා තිබූ සටහන් වන අතර වර්ථමාන තත්වයන්ට ඒ කරුණු නොගැලපීම නිසාම කතෘටද දන්වා ඒවා ඉවත්කලෙමි)
චරිතාවලෝකනය සම්බන්ධයෙන් පුළුල් ග්‍රන්ථයක් ලිවිය යුතු වුවත් අප ගුරුදේවයාණන් වහන්සේ වූ පූජාර්හ වහරක අභයරතනාලංකාර හිමියන් යනු කවරෙකුද යන්න ඉඟි බිඳුවක් ගෙන හැර දැක්වීමටත් නොපසන් වූවන්ගේ පසන් වීම සඳහාත්, පසන් වූවන්ගේ සුපසන් වීම පිණිසත් මෙම කෙටි විස්තරය තුළින් විදහා දැක්වූ බව සැලකුව මනාය.