මෙම බ්ලොග් අඩවිය පිළිබඳව!

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ සම්බුදු දහම අප අතර ප්‍රකට කරගැනීමට බහුලව භාවිතා කිරීමට නුවණින් විමසා අවබෝධ කරගැනීමට මග ඵල ලැබ නිවනින් සැනසීමට කාලය එළඹ ඇත. මේ භියකරු වූත් අනන්ත දුක් කඳ සහිත වූත් ගිනි ගත් සසර කතරින් එතෙර වීමට උපකාර කරන සත්‍ය ශ්‍රී සත්ධර්මයේ බිඳක් හෝ ගෙන ඵල නෙලා ගත යුතුව ඇත. සඳහා මිනිසෙකුගෙන් විය යුතු උතුම්ම උපකාරය නම් සත්ධර්ම මාවත යලි විවර කරමින් ඉන් සැනසීමට සෑම සත වෙනුවෙන් මෙත් සිතින් උපකාර කිරීමයි... සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රායෝගික මග හෙලි කරන පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් ගන්තුනේ මෙරිල් මහතා විසින් ප්‍රකාශයට පත්කරන ලද "දම් වරුසා" යන ග්‍රන්ථය මෙසේ ඔබ හමුවේ තබන්නේ කියවා සැනසෙන්නට නොව නුවණින් විමසා අත්දැකීම් ලබමින් ශාන්ත ප්‍රණීත නිවන් සුවය ලබන්නට නොපමා වීම පිණිසමයි. මේ ප්‍රයත්නයත් බුද්ධිමත් ඔබේ යහපත පිණිසම වේවා!

පෙරවදන

පෙරවදන
ගන්තුනේ මෙරිල් ප්‍රනාන්දු මහතා විසින් සම්පාදනය කර ඇති මෙම “දම්වරුසා“ යන ග්‍රන්ථයට පාදක වන්නේ ගෞරවාදර වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේ විසින් වරින් වර දේශනා කරන ලද ධර්ම ඛණ්ඩයන්ගෙන් උපුටාගත් සම්පිණ්ඩනයන්ය. අභයරතනාලංකාර ස්වාමීන්වහන්සේ යහපත් හා ධාර්මික ගිහි ජීවිතයක් දරමින්ම කල් ගෙවා තම මැදි වයසේදී ඉතා විරල දායාදයක් හිමි කර ගති. එනම් තම පවුලේ සියලු සාමාජිකයන් සමඟ පැවදි ජීවිතයට පිවිසීමයි. මෙම ග්‍රන්ථයේ එන සමහර අවස්ථා අප දන්නා හඳුනන සම්ප්‍රදායික ඉගැන්වීම් වලින් බැහැරට ගමන් කරයි. මා දන්නා පරිදි අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ දේශනා ත්‍රිපිඨකයේ එන කරුණු මෙන්ම, උන්වහන්සේගෙ භාවනාමය අත්දැකීම් තුළින් ගලා ආ කරුණුද අඩංගු වේ. වර්තමානයේ ප්‍රබල අවශ්‍යතාවයක් ව ඇත්තේ යෝගාවචරයෙන්ගේ අත්දැකීම් තුළින් ජනනය වන සෘජු දැනුම ලේකයා වෙත දායාද කිරීමයි. වෙනත් බොහෝ උතුමන් මෙන්ම අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේද කලබලකාරී බවින් මිදී නිසසල ආශ්‍රමයක දිවිගෙවති. උන්වහන්සේගෙ දේශනා අසන්නට කියවන්නට ලැබී ඇත්තේ සීමිත පිරිකට පමණි. මෙරිල් ප්‍රනාන්දු මැතිඳුන්ගේ මෙම පුණ්‍යමය කටයුත්ත අභයරතනාලංකාර ස්වාමීන්වහන්සේගේ දේශනා විශාල පිරිසක් වෙත දායාද කිරීමේ කර්තව්‍යයකි. එම කර්තව්‍ය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා යයි පතමි!

මහාචාර්ය, සුනන්ද දෙගම්බඩ,
කර්මාන්ත පරිපාලන අංශය,
කැළණිය විශ්ව විද්‍යාලය,
2007 - නොවැම්බර් මස 02දින