මෙම බ්ලොග් අඩවිය පිළිබඳව!

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ සම්බුදු දහම අප අතර ප්‍රකට කරගැනීමට බහුලව භාවිතා කිරීමට නුවණින් විමසා අවබෝධ කරගැනීමට මග ඵල ලැබ නිවනින් සැනසීමට කාලය එළඹ ඇත. මේ භියකරු වූත් අනන්ත දුක් කඳ සහිත වූත් ගිනි ගත් සසර කතරින් එතෙර වීමට උපකාර කරන සත්‍ය ශ්‍රී සත්ධර්මයේ බිඳක් හෝ ගෙන ඵල නෙලා ගත යුතුව ඇත. සඳහා මිනිසෙකුගෙන් විය යුතු උතුම්ම උපකාරය නම් සත්ධර්ම මාවත යලි විවර කරමින් ඉන් සැනසීමට සෑම සත වෙනුවෙන් මෙත් සිතින් උපකාර කිරීමයි... සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රායෝගික මග හෙලි කරන පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් ගන්තුනේ මෙරිල් මහතා විසින් ප්‍රකාශයට පත්කරන ලද "දම් වරුසා" යන ග්‍රන්ථය මෙසේ ඔබ හමුවේ තබන්නේ කියවා සැනසෙන්නට නොව නුවණින් විමසා අත්දැකීම් ලබමින් ශාන්ත ප්‍රණීත නිවන් සුවය ලබන්නට නොපමා වීම පිණිසමයි. මේ ප්‍රයත්නයත් බුද්ධිමත් ඔබේ යහපත පිණිසම වේවා!

කතෘගේ වගතුග

නිසි තැන සොයා ආ මග
කෑගල්ල දිස්ත්‍රික්කයේ ගන්තුන නැමැති ග්‍රාමයේ ඉපිද කඳුරට මහා විද්‍යලයෙන් උසස් අධ්‍යාපනය හදාරා ගන්තුන ශ්‍රී සුභාෂතෝදය දහම් පාසැලෙන් දහම් අධ්‍යාපනය ලබා එහිම වසර 7ක පමණ කාලයක් දහම් පාසැල් ගුරුවරයෙකු ලෙස සේවය කළ මා ක්‍රමයෙන් අධ්‍යාත්මික කරුණු ගවේශණයට යොමුවුණා. මෙම කාල සීමාව තුල යන්ත්‍ර, මන්ත්‍ර, තන්ත්‍ර ශාස්ත්‍රය සම්බන්ධ පොත් පත් මඟින් කරුණු හැදෑරුවෙමි. ඉන්පසු මාගේ ජීවිතයේ සිතීමේ මග තුළ ප්‍රාථමික අවස්ථාව පසු කළේ  සුමනදාස සමරසිංහ මහතාගේ චිත්තධර්ම විද්‍යා ජාත්‍යන්තරයට බැඳී එතුමාගේ “මිනිස් සිතේ හාස්කම්“ පොත් පෙළ කියවීම හා දේශන මාලාවන්ට සවන්දීම තුළිනි. අනතුරුව ඒබ්‍රහ්ම ටී කොවූර් මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලද පොත් කීපය කියවීමෙන් පසු මෙතෙක් කාලයක් මා දරා සිටි අදහස් මතවාද ගැලවී යන්නට තතනන බව ඉවෙන් මෙන් දැනුණි. මේ කාලසීමාව තුළ පේරාදෙණිය විශ්ව විද්‍යලයේ බාහිර උපාධි අපේක්ෂයෙකු වශයෙන් ලියාපදිංචි වී අධ්‍යාපන කටයුතු වල නියැලී සිටියෙමි. ඒ කාලසීමාව තුළදී රාජ්‍ය සේවකයින් බඳවා ගන්නා තරග විභාගයකින් තේරී පත්වී එවකට නිවාස අමාත්‍යංශය යටතේ තිබුණු වර්තමානයේ මානව හිමිකම් හා ආපදා කළමණාකරන අමාත්‍යංශය යටතේ පවතින ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) සේවා නියුක්තියෙකු වූයෙමි. ඒ හේතුවේන උසස් අධ්‍යාපන කටයුතු අතපසු වීමත් සමගම සෑම මසකටම වරක් කුමන හෝ අධ්‍යාත්මික පොත් කීපයක් මිලට ගෙන කියවීම පුරුද්දක් කර ගත්තෙමි. මේ හේතුව මත විද්‍යාත්මක යැයි මෙතෙක් භෞතික විද්‍යා චිනතනයෙන් එකලස් කළ ඇතැම් පොත් පත්වල අඩංගු අදහස් මවිසින් ප්‍රතික්ෂේප කරන ලදී. වල්පොල රාහුල හිමියන්, හේන් පිටගෙදර ඤාණසීහ හිමියන්, බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමියන්, රේරුකානේ චන්දවිමල හිමියන්, අචංචා හිමි, අචං බ්‍රහ්මවංසෝ හිමි, ජේ. ක්‍රිෂ්ණමූර්ති තුමන්, ඊ.ඩබ්ලිව්ත අධිකාරම්තුමන්, යන විද්වතුන් විසින් රචිත පොත් පත් මෙන්ම කබීර්මුණිතුමාගේ දේශන ඇතුළත් පොත්, ටිබෙට් ලාමාවරු සම්බන්ධ පොත් පත්, ඉන්දීය මහා යෝගීන් ගේ ජීවිත කථා ඇතුලත් පොත්පත්, මහායෝගිවරයන් වූ මිලාරේපා තුමා, මර්පා තුමා ගැන ලියැවුණු පොත්පත්, ඕරෂෝ තුමාගේ පොත්පත්, වේදගීත, භගවත් ගීතාව, බයිබලය, කුරාණය, කුරුණෑගල දහම් මැදුරේ පොත් සහ නීතීඥ නිලන්ත හෙට්ටිගේ මහතා, ගාමීණී ගුණසිරි මහා හා ඒ. එස්. බාලසූරිය මහතා වැනි අයගේ පොත පතද ආශාවෙන් කියවූ පොත්පත් සියගණනකින් අතලොස්සකි. වෘත්තියේ යෙදී සිටියදීම මනෝ විද්‍යා අධ්‍යන ආයතනයෙන් මනෝවිද්‍යා උසස් ඩිප්ලෝමා පාඨමාලාව හා උපදේශන පාඨමාලාව හදාරමින් සිටින අතරතුරදීම මෝහන විද්‍යාව සම්බන්ධ කරුණු හැදෑරීමට ස්වාපනවේදී ජී.ඒ. ගමගේ මහතා, උපධිධර මනෝචිකිත්සක චන්ද්‍රදාස මාදම්පේ මහතා, යටතේද වැඩි ප්‍රායෝගික දැනුමක් ලබමින් ප්‍රවීණ මෝහන විද්‍යාඥ නෙවිල් ද සිල්වා මහතා යටතේද ශිල්ප ශාස්ත්‍රය හැදෑරුවෙමි. ඒ සම්බන්ධ පර්යේෂණ කළ බී.එස් දර සිල්වා මහාතගෙන්ද ගුරුහරුකම් ලබා ගතිමි. මෙම කාලසීමාව තුලදී හින්දු බ්‍රහ්ම කුමාරි රාජයෝග භාවනා මධ්‍යස්ථානය මගින් පවත්වන ලද දේශන වලට සහභාගි වූයෙමි. එයින් පසු සිතිවිලි හා අතැඟිලි භාවිත කරමින් ලෙස සුවපත් කරන රෙයිකි ශාස්ත්‍රය සම්බන්ධ කරුණු හැදැරීමද සිදු කළෙමි. ඉන් අනතුරුව මහා සෘෂි මහේෂයෝගී තුමාගේ පරමෝත්කෘෂ්ට භාවනාව හෙවත් T.M. වැඩිකාලයක් ප්‍රගුණ කළෙමි. යෝගී පියසිරි කුලරත්න මහාතාගේ මගපෙන්වීම යටතේ 1999 නොවැම්බර් ම 7දා ඉරුදින නුගේගොඩ විභවි මධ්‍යස්ථානයේදී යෝගී කීර්තිපාල ගුරුතුමා යටතේ කුණ්ඩලනී ශක්තිය වර්ධනය කළ හැකි යැයි කියනු ලබන භාවනා ක්‍රමවේදයක් හැදෑරීමට මුල් පියවර තැබුවෙමි. පසු කාලීනව කීර්තිපාල ගුරුතුමාගේද ගුරුවරයා විසින් අලව්ව කෝදාපාලු කඳු මුදුනේ පිහිටුවන ලද විශ්වයට සිත පුරුදු පුහුණු කරන භාවනා මූලස්ථානයේදී සෝමරත්න, රාජා ප්‍රේමසිරි ඩැනියෙල් හා තිලකරත්න යන ගුරුවරුන් සතර දෙනා යටතේ භාවනා ප්‍රගුණ කළෙමි. මෙම භාවනා ක්‍රමවේදය තුළින් යම් යම් ශක්තීන් අත්වින්දෙමි.
යට දැක්වූ හැම ගුරුවරයෙකු තුළින් මෙන්ම මෙම පොතට ඇතුළත් නොකළ වෙනත් ස්ථානවලදී ද ලත් අත්දැකීම් තුලින් මගේ ආධ්‍යාත්පිමක ප්‍රගමනය උදෙසා මැ හැඟි දායකත්වයක් ලබාදී ඇත. අපර මනෝ වෛද්‍ය ජී. කළුආරච්චි මහතාගේ ආකාශික් වාර්තා කියවීම ගැන පර්යේෂණය කළේ ඉන්පසුවයි. මහායාන භාවනා ක්‍රමයක් ලෙස් දක්වන සද්ධර්මය පුණ්ඩරීක සූත්‍ර යේ සඳහන් ගාථා ඛණ්ඩයක් වන “නමයෝ හෝ රෙන්ගේ ක්යෝ“ වාක්‍ය භාවිත කරමින් පූජා ක්‍රමයක්ද සහිතව කරනු ලබන භාවනා ක්‍රමයක් ගැන බොරැල්ල ප්‍ර දේශයේ එක්තරා ස්ථානයකද කරුණු සාකච්ඡා කලෙමි. අනතුරුව ඉන්දියානු කුණ්ඩලනී භාවනා ගුරුවරයෙකු වූ වෙනු ගෝපාලන් මහතා යටතේ නොකඩවා මාස 6ක් පමණ මස් මාළු බිත්තර කුමන අයුරකින් හෝ ආහාරයට නොගෙන දුර සිට ශක්ති පථ අවධිකරන කුණ්ඩලනී දික්ෂා ආත්ම සාධක ක්‍රමයට දායක වූයෙමි. අනතුරුව වතුරුගම නන්ද හිමියන් හමුවී භාවනාව සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කළෙමි. 2000. 10. 23 දා තමින් මා හඳුනන ස්වාමීන් වහන්සේ නමක් විසින් ලිපියකින් දන්වන ලද භාවනා යෝගී හිමිනමක් ගැන ඉස්මතු කැර තිබුණි. එහි සඳහන් මග විස්තර අනුව 2002 වසරේදී මහත් දුෂ්කර ගමනකින් පසු ඇඹිලිපිටිය ඕමල්පේ ප්‍ර දේශයේ නූංගස්යාය ආරණ්‍යෙය්දී යට දැක්වූ පරිදි පූජාර්හ අත්තුඩාවේ සද්ධාතිස්ස හිමියන් මුණ ගැසිණි. පසුකාලීනව ඇඹිලිපිටිය රත්නපුර මාර්ගයේ හැරී ගමන් ගන්නා කොස් වැටිය ආරණ්‍ය සේනාසනයේදී ද ඒ හිමියන් හමුවී ධර්ම සාකච්ඡා කළෙමි. භාවනා කර්මස්ථානයද රැගෙන ප්‍රගුණ කළෙමි. මේ වන විට උන්වහන්සෙ අපවත් වී ඇත. මෙම කලාසීමාව තුලදීම කොළඹ ජයවර්ධන කේන්ද්‍ර යේදී ගාමිණී ප්‍රියන්ත භාවනා ගුරුතුමා විසින් ආරම්භ කරන ලද ආනාපාන සති භාවනා ක්‍රමයද ප්‍රගුණ කළෙමි. මෙය නොකඩවා ගුප්‍රණ කරන අතරුතුරදීම ඉන්දියාවේ ගොඑන්කා භාවනා ගුරුතුමාගේ භාවනා ක්‍රමවේදයට තරමක් සමීප පොල්ගස්ඕවිට දියකඩ සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේදී කොට්ටාවේ සුමන හිමියන්ගේ මග පෙන්වීම යටතේ එහි නේවාසිකව සිට භාවනා ප්‍රගුණ කලෙමි. ඉන් අනතුරුව මහාචාර්ය උතුරාවල ධම්මරතන හිමියන් යටතේ කොළඹ තරුණ බෞද්ධ සංගම් ශාලාවේදී පැවත්වූ සිතේ බලපෑම් මගින් අන් අයගේ සිතිවිලි හඳුනාගත හැකි ප්‍රායෝගික ක්‍රමවේද සම්බන්ධ ප්‍ර යෝග සහ අනාපාන සති භාවනාව හැදෑරුවෙමි. අනතුරුව ඒ එස් බාලසූරිය මහතාණන් හමුවී කරන ලද දීර්ඝ සාකච්ඡාවකින් පසු මනස තුළ වචන වලට පරිවර්තනය කළ නොහැකි කිසියම් මානසික සැහැල්ලුවක්ද අත්වින්දෙමි. 2005 වසරේදී පමණ කළ්‍යණ මිත්‍ර කිවුල්දෙණියේ විජිතනන්ද හිමියන්ගේ ලිපියක් ලැබුණි. ලිපිය ලද වහාම පොල්ගහවෙල ආරගොඩ අරියචින්ත භාවනා අසපුවට පැමිණෙන ලෙස එහි සඳහන් කර තිබුණු නිසා ලිපිය ලද සතියේ නොවැම්බර් 19දා සෙනසුරාදා දිනයේදී එහි ගියෙමි. මෙතෙක් විජිතානන්ද හිමියන් ප්‍රගුණ කරමින් තිබූ භාවනා ක්‍රමය (වසර 12ක් පමණ ප්‍රගුණ කල) අතහැර අළුත් මාවතකට ඇතුළු වී ඇති බවත්, ඒ ක්‍රමය තුලින් හොඳින් නිර්මල බුදු දහම විග්‍රහ වන බවත් තමන් වහන්සේත් තුන් මාසයක් පමණ මේ ගැන හොඳින් තර්ක කර සොයා බැලූ බවත් පවසා මා යොමු කළේ වහරක අරියචින්තාශ්‍රම බෞද්ධ මධ්‍යස්ථානයටයි. 2005 දෙසැම්බර් 4දා ඉරිදා අරියචින්තාශ්‍රමයට ගිය ප්‍රථම දිනය මාගේ අධ්‍යාත්මික ගමන් මගේ සදානුස්මරණීය දිනයක් වෙයි. එදින පෑ 3කට අධික කාලයක් තිස්සේ වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේ සමඟ දහම් කරුනු සාකච්ඡා කළෙමි. එම ප්‍රථම සාකච්ඡාව තුළදී මගේ සිත තුළ හැඟීමට හෝ වචන තුලින් විස්තර කිරීමට අපහසු කිසියම් ගුප්තමය පිබිදීමක් වැනි දෙයක් සිදුවූ බව මට දැනිණි. මෙය සැබෑවක් මිස අතිශෝක්තියක් නොවේ. වහරක අභයරතනාලංකාර හිමියන් ත්‍රිපිඨක බුදු දහම විග්‍රහ කරන ආකාරය බුද්ධිවන්තයින්ට ප්‍රඥාගෝචරයි, තලනාත්මකව බලන්නෙකුට තර්ක කරන්නට යමක් ඉතිරි නොවේ. උපමා, උපමේය ගැලපිලි සියල්ල ගැමි වදන් හා සිඳාදිය මිශ්‍ර වූණු සරල බස් වහරක් නිසා වහරක හිමියන්ගේ දේශන ශෛලිය උගත්, නූගත් සැමට හොඳින් අවබෝධ කල හැකි වෙයි. දහම් කරුණු ඇතුලත් පොතක් ඕනෑම අයෙකුට තමන් කැමති අවස්ථාවක කැමති ස්ථානයක සිට විවේක ඇති ඕනෑම විටක කියවා ඒවා තේරුම් ගැනීමට අවකාශයක් ලැබෙන නිසා වැඩි දෙනෙකුට පොදුවේ බලපාන මාතෘකා කිහිපයක් තෝරා ඒවාට අදාල දහම් කරුණු ගොනුකර මේ පොත සකස් කලෙමි. මෙහි ඇතුලත් දහම් කරුණු වහරක හිමියන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ කියවා බලා සකස් කරන ලද ඒවා වෙයි. මෙම පොතට මෙයට අමතරව බාහිරින් ලබාගත් මනෝ විද්‍යා, මෝහන විද්‍යා, වෛද්‍ය විද්‍යා, භෞතික විද්‍යා, අධිමනෝ විද්‍යා, කායික විද්‍යා, ගුප්ත විද්‍යා හා නොයෙකුත් ආගම්, දර්ශන හා වෙනත් විෂයයන් යටතේ විග්‍රහ වී ඇති කරුණු ඇතුළත් කළ හැකිව තිබුණත්, ගැඹුරු දහම් කරුණු වැඩි දෙනෙකු වෙත ව්‍යාප්ත කිරීමේ පවිත්‍ර චේතනාවෙන් මෙතෙක් සැඟව පැවැති නිර්මල බුදු දහම අළලා විග්‍රහ කරන ලද කරුණුම මෙයට ඇතුළත් කළෙමි. මෙහි අත්‍යවශ්‍ය ස්ථානයන්හිදී පාලි පාඨද ඇතුළත් කර ඇති අතර සමහර විට වියරණ හා අක්ෂර වින්‍යාස දෝෂද තිබිය හැකියි. එසේම එකම කරුණු මාතෘකා කිහිපයක සඳහන් වී තිබිය හැකියි. එයට හේතුව එක් මාතෘකාවකට අදාළ වූ දහම් කරුණුම වෙනත් මාතෘකාවකටද ගැළපීම නිසා ඇතුළත් කළ කරුණු බව පාඨකයෝ සලකත්වා. මෙහි ඇතුළත් ධර්ම කරුණු සම්බන්ධයෙන් කුමන හෝ ගැටළුවක් ඔබට ඇතිවූයේ නම්, ඒ පිළිබඳ කරුණු විමසිම සඳහා වහරක අභයරතනාලංකාර හිමියන් සෙනසුරාදා දිනක හෝ හමුවිය හැකි වේලාවක් වෙන්කරගෙන හමුවී ඒවා නිරාකරණය කර ගැනීම සුදුසුම ක්‍රමය බව මගේ හැඟීමයි.
මෙහි ඇතුළත් භාවනාවේ ප්‍රායෝගික කරුණු ගැන ඔබට ගැටළු මතුවනු ඇත. එයට හේතුව සම්ප්‍රදාය තුළින් ගොඩනගා ගත් කරුණු අළලා සකස් කල රාමුවක් ඔබ සතු බව ඔබට නොවැටහීමයි. අනෙක් කරුණ ඔබ මෙතෙක් අනුගමනය කල ක්‍රමවේද තුළින් ඔබේ සිතට දැනුණු යම් යම් ප්‍රාෙයා්ගික අත්දැකීම ලෞකික වුවත්, ඒවා ලෝකෝත්තර අත්දැකීම් ලෙස ඔබේ ගුරුවරයා විසින් ඔබට සහතික ලබාදීම ද විය හැකියි. ත්‍රිපිඨකයේ සඳහන් නිර්මල බුදු දහම නුදරු දිනයකදී ගම් නියම්ගම් සිසාරා එමතුද නොව දෙස් විදෙස් රාජ්‍යයන් කරාද සීඝ්‍ර යෙන් ව්‍යාපත්වන්නට පටන් ගනු ඇත. මේ විනයයි මේ ධර්මයයි පවසමින් යම් භික්ෂුවක් කියා සිටියත් එසේ කියන තරමට නොපිළිගත යුතු වෙයි (නේව අභිනන්දිතබ්බං) ප්‍රතික්ෂේපද නොකළ යුතුය (න පටික්කොසිතබ්බං) යමෙකු කියන දෙය හොඳින් අසා දරමින් අනෙකුත් බුද්ධ දේශිත සූත්‍රයන් සමග මනාව ගැළපෙනවා දැයි සූත්‍ර යේ බස්වා බැලිය යුතුවෙයි (සුත්තේ ඔතාරෙ තබ්බානි) බුද්ධ දේශිත විනය සමඟ සසඳා බැලිය යුතු වෙයි. (විනයෙ සන්දස්සෙතබ්බානි)
ඔබ බුද්ධිවන්ත නම් මෙහි සඳහන් කරුණු විගැසම ප්‍රතික්ෂේපද නොකර, පිළිගන්නේද නැතිව මධ්‍යස්ථව සිතා බලා පිළිගත හැකි මට්ටමට තහවුරු වූ විට නැවැත කියවන්න. මෙහි සඳහන් කර්මස්ථාන සරල හා වැදගත්කමක් නැති ඒවා සේ අවත්සේරු නොකරන්න. ඒ මක්නිසාද යත් ඒ සියල්ලම වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේට සමාධියෙන් මතු වූ ශුද්ධ කර්මස්ථාන නිසයි. මෙහි සඳහන් ඇතැම් කර්මස්ථාන භාවිත කළ බොහෝ දෙනෙකු ප්‍රායෝගික ප්‍රතිඵල ලබා තිබෙන බව පැවසිය යුතුයි. ප්‍රතිඵල ලැබූවන් සොය සොයා ඒ පසුපස විස්තර සොයා නොගොස් ඔබත් අත්හදා බැලීමට උත්සූක වන්න. මෙහි සඳහන් කර්මස්ථාන හොද්දක ලුණු බලන්නා මෙන් හැම එකම භාවිත නොකර ඔබේ සිතට කාවදින කර්මස්ථානයක් තෝරා එය, වෙහෙස, කම්මැලි බව, නිදිමත ගතිය, උදාසීන ගතිය, ඉක්මවා අවංකව වැඩි වේලාවක් වැඩීමට මහන්වන්න. ලැබුණු ප්‍රථිඵල ගැන නොසිතන්න. ලැබෙන්නට තිබෙන ප්‍රතිඵල ගැන හැමවිටම සිතන්න. කර්මස්ථානයක් වැඩීමේදී ක්ෂණීක ප්‍රතිඵල වැඩි දෙනෙකුට අත් නොවනු ඇත. භාවනාව වැඩීම හේතුවෙන් සිත හා ගත තුළ ක්‍රමයෙන් එය වැඩෙනු ඇත. වෑයකින් කලක් තිස්සෙ වැඩ කළ විට එහි මිට අල්ලනු ලැබූ ස්ථානය ගෙවී තිබෙනු පෙනේ. එම ගෙවීම සිදුවූ දිනයක් කිව නොහැක. කාල පරාසයක් කිව හැක. ඒ ආකාරයට ඔබ භාවනා කරන අනුකූල කාලයට අනුව භාවනාවද වැඩෙනු ඇත. යකඩ කම්පියක් නවන දිග හරින විට එක් අවස්ථාවකදී එය කැඩී යනු ඇත. එසේ කැඩෙන අවස්ථාව වේලාසනින් කිව නොහැක. රත්වන විට කැඩීමට ආසන්න බව අනුමාන වශයෙන් විශ්වාස කළ හැක. එසේම භාවනා කරන විට කිනම් මොහොතක හෝ ප්‍රතිඵල ඔබ අත්දකිනු ඇත. ඉවසීම, කැපවීම, ආර්ය පුද්ගලයින් ගේ ධර්ම දේශනාවලට සජීවීව සහභාගිවීම, හැකි තරම් තමන් ඉගැන ගන්නා දහම් කරුණු ප්‍රායෝගිකව හදවතට එකඟව පිළිපැදීම, අවංක වීම, සිතිවිලි ක්‍රියා වදන් අපවිත්‍රවීමට ඉඩ නොදීම, සොබා දහම් මාතාවගේ නීති උල්ලංඝනය නොකිරීම, නොදත් දේ දන්නේ යැයි නොපවසා දත් දේ පමණක් අනතිමානීව පැවසීම ආදී වූ තවත් බොහෝ ප්‍රායෝගික කරුණු ඔබේ ආර්ය මග හෙළි පෙහෙළි වී ඉදිරියට යාමට අමුද්‍රව්‍ය වනු ඇත. මෙම සියලු දේ කළ විටදීත් ඔබට ප්‍රායෝගික ප්‍රතිඵල අත්නොවන්නේ යැයි පසුබට නොවන්න. පෙර භවයන්හිදී පුරුදු පුහුණු වූ උරුමයට අනුව ලැබිය යුතු අස්වැන්න දැන් ලැබෙනු ඇත. මේ අත්භවය තුළදී හැකි තරම් සුදුසු පොහොර යොදා වැඩි අස්වැන්නක් ලැබෙන බීජ වපුරන්න. බීජ පැලවෙන තෙක් හොදින් රැකබලාගන්න. අනවශ්‍ය වල්පැල ඉවත් කරන්න. කලට වැසි ලැබී නිසිකල අස්වැනු පූදිනු ඇත. අන් අයගේ අස්වැන්න ලැබෙන විට එදෙස බලා ඔබේ අස්වැන්නත් ඒ සමගම ලැබිය යුතු යැයි නොසිතන්න. මක්නිසාද යත් ඔබ බීජ සිටුවන්නට සිතන විට අන් අය ඒ වන විට බීජ සිටුවා අවසන් නිසයි. අන් අය අස්වනු නෙළන විට ඔබ සිටවූ බීජයේ අංකුරවත් ලියලා නැති බව සිතන්න. නිසිකල, නිසිලෙස, නිසි තැන, සරු බීජ වගාකල විට වාර්තාගත අස්වැන්නක් ලබනු ඇත. ඔබද එහි කොටස්කරුවකු බව සිතන්න. මෙවැනි දහම් කරුණු ඇතුළත් පොතක් ඔබට කියවීමට ලැබෙන්නේ ඒ නිසා බවද සිතන්න. මෙම වටිනා ග්‍රන්ථය සඳහා මගේ අත් පිටපත කියවා බලා ඉතා අගනා පෙරවදනක් ලියා දෙමින් මා හට සහයෝගය දැක්වූ ආධ්‍යාත්මික කරුණු ගවේෂණයෙහි යෙදී සිටිමින් ඒ පිළිබඳ නොයෙකුත් අත්දැකීම් ඇති කැලණි විශ්ව විද්‍යලයේ කර්මාන්ත පරිපාලන අංශයේ මහාචාර්ය සුනන්ද දෙගම්බඩ මහතාට කෘතවේදී ගෞරවය පිරිනමමි. මෙවැනි වටිනා ග්‍රන්ථයක් ගෞරවාර්හ වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේ නොසිටින්නට මුද්‍රණය කර ඔබ අතට පත්නොවනු ඇත. ඒ නිසා මෙම ග්‍රන්ථය මුද්‍රණය කර ඔබ අතට පත්වී ඔබ ලබන දහම් අවබෝධයෙන් ජනිත කරන්නාවූ වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේට අද අදම අවසන් ඉලක්කය වූ පරමෝත්කෘෂ්ට අරිහත් ඵලය ලැබීමේ හේතු සම්පත් පිබිදීමට ශක්තියක් වේවා. එසේම කුකුල්නාපේ සද්ධාරතන ස්වාමීන් වහන්සේටද, චන්ද්‍රකාංචනා සිල් මාතාවටද සඳුනි කාංචනා සිල්මාතාවටද මා හට නිසි මග පෙන්වූ කේ. විජිත නන්ද හිමියන් ඇතුළු මහා සංඝරත්නයටද මේ ග්‍රන්ථය කියවන ඔබ අප සියලු දෙනාටමද මේ අත්භවය තුළදීම නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා ලැබේවා, සසර කරන ලද කුසල් ශක්තීන්, පුණ්‍යශක්තීන් ඇදී ඒවා, ඒ තුළින් ආර්ය මාර්ගය හෙළි පෙහෙළි කර ගැනීමට යම් බාධකයක් වෙත්නම් ඒ සියල්ල අභිබවා ඉදිරියට යාමට ශක්තියක්, ධෛර්යයක් උදාවේවා!
මේ සත් කටයුත්තේදී දිරිගන්වමින් මා හට නන් අයුරින් සහයෝගය දැක්වූ හොරණ ලබුගම ලලිත් කුමාර බණ්ඩාර මහතා සහ එම මහත්මයටද, පෞද්ගලිකව නම් වශයෙන් ප්‍රකාශ කිරීමට නොහැකි වූවත් මෙසේ පොතක් මුද්‍රණය කිරීමට මා බලාපොරොත්තු වන බව කියූ විටම හදවතින්ම ඕනෑම සහයෝගයක් දීමට පවා ඉදිරිපත් වෙමින් මා දිරිමත් කළ සියලු දෙනාටද ස්තූතිවන්ත වෙමින් ඔවුන් සියලු දෙනාටද අද අදම දහම් ඇස පහල වීමට හේතු සම්පත් ජනිත වේවා! මිය පරලොව ගොස් සිටින මාගේ යම්තාක් සතර වරිගයේ ඥාති මිත්‍රාදීන් වෙත්ද ඒ සියල්ලෝම දුගතියක වෙත්නම් එයින් අත්මිදී සුගතිගාමී වීමටත්, දැනට ජීවත්ව සිටින දෙමාපිය සහේදර සහේදරියන්ට ආර්ය මග පූර්ණය කර ගැනීමටත්, නිරෝගී සුවය ලැබීමටත්, කරන ලද පුණ්‍ය ශක්තීන් ඇදී ඒමටත්, මෙම ධර්ම ග්‍රන්ථය පරිශීලනයෙන් ජනිත වන අධ්‍යාත්මික ශක්තීන් හේතු වේවා. මෙම ග්‍රන්ථය කලට වේලාවට මනා නිමාවකින් යුතුව මුද්‍රණය කරදීමට භාරගත් පියසිරි මුද්‍රණාලය සහ සමාගමේ අධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටද ස්තූතිය පිරිනමමි.
ගන්තුනේ මෙරිල් ප්‍රනාන්දු
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO)
(මානව හිමිකම් හා ආපදා කළමණාකරණ අමාත්‍යංශය)
99/1, ජාවත්ත පාර, කොළඹ 05
2008 - 08 – 08
දුරකථනය 0112 503 431 (කාර්යාලය)
0714 – 400 466 (ජංගම)